Monthly Archives: December 2018

අම්මට තියෙන ලෙඩේ…

මිනූ දවසක් අත්තම්මලයි ගෙදර ගියා. එහේ නැන්දගේ මල්ලි බබා ඉන්නවනේ, එයාගේ සෙල්ලං stethoscope එකක් අරගෙන මිනූ සෙල්ලම පටන් ගත්තා.

එයා doctor එක එක්කෙනා මිනූගෙන් බෙහෙත් ගන්නවා. තාත්තා ලඟට ගිහින් කැස්සට බෙහෙත් දුන්නා, අක්කට උනට බෙහෙත් දුන්නා. ඊලඟට අම්මා ලඟට ආවා. ඇවිත් stethoscope එක තියල බලල බෙහෙත් ටිකක් දුන්නා.

අම්මා : මොකද්ද පුතේ මට තියෙන ලෙඩේ?

මිනූ කල්පනා කරනවා…..

මිනූ: ඔයාට තියෙන්නේ බනින ලෙඩේ.
ඇත්ත තමයි, මුළු දවසම බනිනවනේ කරන වැඩවලට.

Advertisements

අක්කා ලොකු තරම

අනූයි මිනූයි නිතරම රණ්ඩු කරනවා, හැමදාම වගේ රණ්ඩු ඉවර වෙන්නේ ඔයා ලොකුයි මම පොඩියි වගේ කතාවකින්. අම්මා මේක අහගෙන ඉඳලා ඉඳලා බැරිම තැන දවසක් මිනූට කියනවා,

“පුතේ අක්කත් ගොඩාක් ලොකු නෑ. ඔයාට වඩා පොඩ්ඩයි ලොකු, ඔයා ආව නිසා තමයි එයා අක්කෙක් උනේ. නැත්නං එයා තාම අපේ චූටි පුතා”.

 මිනූට මේ කතාව වැඩිය හිතට ඇල්ලුවේ නෑ, ටිකක් වෙලා ඇස් දෙකත් පුංචිකරන් බලාගෙන හිටියා. ඊට පස්සේ කියනවා,

“බොරු කියන්න එපා එයා නිල් පාට ටයි එකකුත් දාගෙන ඉස්කෝලෙත් යනවා”.

කෝවිල…

අනූයි, මිනූයි, අම්මයි, තාත්තයි ගමනක් යනගමන් මඟදි අම්මා එක එක දේවල් පෙන්නනවා. අම්මා දැක්කා කෝවිලක් තියෙනවා, අර බලන්න පුතේ කෝවිලක් අම්මා මිනූට කිව්වා.

මිනූ: කෝ… විලක්

අම්මා: විලක් නෙමෙයි පුතේ, කෝවිලක්.

මිනූ: කෝ… විලක්

අම්මා: ඒක කෝවිලක්. අපි පන්සල් යනව වගේ හින්දු අය කෝවිල් යනවා.

මිනූ: කෝ ඉතින් විලක්

මිනූ හොඳටම දන්නවා අම්මා මොකද්ද කියන්නේ කියලා. මේ හොර කෙල්ල…