Category Archives: Life

Image

අලුත් පැතුම් සමඟින් වාසනාවන්ත වසරක් වේවා…!

shiny_2013_card

සැන්දෑ අහසවගේ…

ලස්සන අහසක්…
සිත්තරෙකුගේ සිත්තමක්..
රන්වන් පෑ හැන්දෑවක්..
නිශාන්තයට ඇරඹුමක්..

කව්රු කොහොම කිව්වත්
කළාත්මක නිමැවුමක්…

ඔබටත් එහෙම හිතෙනවද?

ඒ අතරම
මට මෙන්න මෙහෙමත් හිතුනා…

දවසේ වෙහෙස නිවා ගන්නට
දරන වෑයමක්…
ගෙවීයන දිනයක් වෙනුවෙන්
සඟවන්නට සදන කඳුළක්…
තම විඩා සඟවමින්
අනෙකෙකු වෙත පිදෙන සිනහවක්…

අහසත් අපි වගේම නේද…

ප.ලි. – මාලනී බුලත්සිංහල සැන්දෑ අහස වගේ සැරසී එන්න කියන්නෙත් මේකටමද..

ජීවිතය…..

දුකයි, බරයි කියල හිතන හැමදාම
දුකයි…බරයි…..

සතුටුයි , සැහැල්ලුයි කියල හිතන හැමදාම
සතුටුයි…සැහැල්ලුයි…..

ජීවිතේ කියන්නෙ මම හිතන දේටමද?

මහ ගෙදර

කොළඹ උනත්, තට්ටු ගානක් උඩ උනත්, අපේ ඔෆිස් එකේ කොනක තියෙනව පොඩි පොඩි මල් පැළ ටිකක්. අපේ තට්ටුවෙ කෙලවරක කොන්ක්‍රීට් තහඩුවෙ යන්තමට රැඳුනු පස් තට්ටුවක් උඩ පොඩි බොගන්විලා පැළයකුත් තිබුනා. දවසක්දා වීදුරුවෙන් එලිය බලද්දි, බොගන්විලා අත්තකට හිරවෙල පොඩි කුරුලු කුඩුවක් තියෙන බව අපිට පෙනුනා. කුඩුවෙ පුංචි කිරිල්ලියෙකුත්  ඉන්නව, කිරිල්ලි නිතරම කුඩුවෙ ඉන්න නිසා අපි හිතුවෙ බිත්තර දාල ඇති කියල. හිතුව වගෙම පුංචි බිත්තර දෙකක්ම තියෙනව.

අපිත් පුරුදු විදියට වැඩට එනව..යනව..කිරිල්ලිත් බිත්තර රකිනව..ඔහොම ටික දවසක් යද්දි කිරිල්ලි කුඩුවෙන් ටිකක් ඈතට ගිහින් කෑම ගෙනව…ටිකක් ලං වෙලා බලද්දි පුංචි කුරුළු පැටව් දෙන්නෙක් ඉන්නව.

කට ඇරගෙන අම්ම ගේන කෑම වලට රන්ඩුව, අම්මත් පැටව් දෙන්නට කෑම කවන්න දවසපුරාම මහන්සි වෙනව. ඔහොම දවස් ගානක්ම ගෙවිල ගියා. කුරුළු අම්ම පැටවුන්ට කෑම  කවනව, අපිත් ඒ දිහා බලගෙන ඉන්නව.

සතියක් ඉවර වෙලා අපි සති අන්තය ගෙදර අයත් එක්ක සතුටින් ඉඳල, වැඩට අවා… අනේ කුරුළු කූඩුව පාළු වෙලා. කුරුළු පැටව් පියාඹල ගිහින්…..හිස්ම හිස් කුඩුව දෙක්කම දුක හිතෙනව, මහ පාළුවක් දැනනව.. අපිට මෙච්චර පාළු දැනෙනව නං කිරිල්ලිට කොච්චර පාළු ඇතිද?
මට අපේ ගෙදර මතක් උනා අපේ අම්මලත් ඔය කිරිල්ලි වගේම අපිට කවන්න පොවන්න මහන්සිවෙන්න ඇති…අපිට පියාඹන්න කියල දෙන්න ඇති. දැන් පාළුවෙන් කුඩුවට වෙලා බලාගෙන ඇති, අපි ගෙදර එනකල්…

පුංචි කුරුළු පැටව් දෙන්නත් අම්ම බලන්න අයෙ එයිද…..නිවඩු ලැබුනම?