Category Archives: Stories of Minu

ඇයි එයා වැරදි නමක් කිව්වම බලන්නේ

මිනූ school යනවනේ, එයාට නෑදෑයෝ ගැන පවුලේ අය ගැන කියල දෙනවා. school එකේ කියලා දෙන්නේ අම්මගේ අම්මා ආච්චී කියලා, ඒත් අනූයි මිනූයි අම්මගේ අම්මට කියන්නේ අම්මම්මා කියලනේ. මේක නිසා දවසක් අම්මා මිනූට මේ කතාව පැහැදිලි කරලා දුන්නා.

මිනූ හොඳට අහගෙන හිටියා, ඊට පස්සේ අහනවා.

මිනූ : ඇයි එයා වැරදි නමක් කිව්වමබලන්නේ ?
අම්මා : ඒ කියන්නේ…
මිනූ : දැන් මම මිනුකි නේ, මට සඳළි කියල කතා කලාට මම බලන්නේ නැහැ නේ. ඇයි ඉතින් අම්මම්මා බලන්නේ ?

පේනව නේද මිනූගෙ තර්ක.

Advertisements

කට රතුවෙන පැණි

අනූ ලෙඩ වෙලා බෙහෙත් ගෙනාවා, එතන බෙහෙත් පැණි දෙක තුනක්ම තිබුනා. අනූට ඉතින් බෙහෙත් බීල ඉවර වෙලා වතුර බොන්න අමතක වෙනවා. අම්මටත් වතුර ටිකක් ඉක්මනට දෙන්න ඕනේ කියල තේරුනේ නෑ. බෙහෙත් ටිකත් පැණි රසයිනේ අනූටත් ඉතින් වතුර බොන්න කට සෝදන්න හදිස්සියක් නෑ.

ඒත් දවසක් දෙකක් යද්දි අනූගේ කට රතු පාට වෙන්න ගත්තා. අම්මයි තාත්තයි බයවෙලා අනූව doctor ලඟට අරගෙන ගියා. එතකොට තමයි දැනගත්තේ කට රතුවෙලා තියෙන්නේ බෙහෙත් කටේ තියාගෙන හිටිය නිසා කියලා. Doctor ඉතින් ඒකටත් බෙහෙතක් දුන්නා.

ඒ බෙහෙත් වලට අනූගේ ලෙඩ හොඳවුනා, ඒත් මිනූට ලොකු ප්‍රශ්ණයක්

මිනූ : අම්මේ බෙහෙත් බීලා වතුර බිව්වේ නැති උනාම කට රතු වෙනවද?
අම්මා : ඔව්..
මිනූ : එතකොට ආයෙත් බෙහෙත් දෙනවද?
අම්මා : ඔව්..
මිනූ : ඒවා බීල වතුර බිව්වෙ නැත්නම් ?

ඔන්න මිනූට තියෙන ප්‍රශ්ණ….

ඉත්තෑවෙක් ගන්න

අනූයි මිනූයි කාමරේ සෙල්ලම් කරනවා snack & ladders අම්මත් හොඳට අහගෙන ඉන්නේ මොකද මේදෙන්නගෙ සෙල්ලම කොයිවෙලාවේ රන්ඩුවක් වෙයිද දන්නෙ නැහැනේ.

මිනූ කියනවා අක්කට ඔයා ඉත්තෑවෙක් ගන්නකෝ
අක්කා – ඉත්තෑවෙක් ?
මිනූ – හරි ඉත්තෑ පැටියෙක් ගන්නකෝ

Related image

අම්මත් හෙමීට ඔළුව දාලා බැලුවා.

අක්කා – මිනූ, ඉත්තෑවෙක් නෙමෙයි ඉත්තෙක්…. 🙂

චිත්‍රපටියකින් කොන්ඩෙ බැඳගෙන එන්න

මිනූ school යන මුල්ම දවස, අම්මයි තාත්තයි එක්ක සුදු ගවුමකුත් ඇඳගෙන නිල් පාට ටයි එකත් දාගෙන ලොක්කි වගේ ගියා. Open area එකක ළමයින්ට වාඩි වෙන්න හදලා තිබුනා, අම්මල තාත්තලා ටිකක් ඈතින් හිටියෙ. හාමුදුරු නමක් පොඩි අවවාද ටිකක් දුන්නා ළමයින්ට, ප්‍රින්සිපල් මැඩම් කතා කලා, Grade 2 අක්කලා නැටුම් නැටුවා, මේ ඔක්කොම බලලා කෑම බීමත් කාලා මිනූට හරි සතුටුයි. ගෙදර එන ගමන් අම්මා මිනූගෙන් විස්තර අහනවා.

අම්මා : පුතේ ලොකු school එක හොඳයි නේද?
මිනූ : ඔව්
අම්මා : මැඩම් මොනවාද පුතේ කිව්වේ?
මිනූ : හ්ම්ම්ම්….(මිනූ කල්පනා කරනවා )
අම්මා : පරක්කු වෙලා school එන්න එපා කිව්වා නේද?
මිනූ : නෑ… පරක්කුවෙලා ආවට කමක් නෑ කිව්වා.

පළවෙනි පාඩම හරි 🙂

අම්මා : කොන්ඩෙ ගැන මොනවද පුතේ කිව්වේ.
මිනූ : කොන්ඩ දෙකක් ගොතල, චිත්‍රපටියකින් බැඳගෙන එන්න කිව්වා.

අම්මා මිනූගෙ කොන්ඩෙ කපන්න අරගෙන ගියා කියලා මිනූ පොඩ්ඩක් තරහ වෙලා හිටියෙ. ප්‍රින්සිපල් මැඩම් කිව්වා පොඩි ළමයින්ට කොට කොන්ඩයක් තිබුනම ලේසියි කියලා. ඒකයි අම්මා කොන්ඩෙ ගැන ඇහුවේ.
තව කිව්වා කොන්ඩෙ දිගයි නං ගොතලා පීත්ත පටියකින් බැඳගෙන එන්න කියලා.

මිනූ පීත්ත පටි දන්නේ නෑ, චිත්‍රපටි නං දන්නවා.

අම්මට තියෙන ලෙඩේ…

මිනූ දවසක් අත්තම්මලයි ගෙදර ගියා. එහේ නැන්දගේ මල්ලි බබා ඉන්නවනේ, එයාගේ සෙල්ලං stethoscope එකක් අරගෙන මිනූ සෙල්ලම පටන් ගත්තා.

එයා doctor එක එක්කෙනා මිනූගෙන් බෙහෙත් ගන්නවා. තාත්තා ලඟට ගිහින් කැස්සට බෙහෙත් දුන්නා, අක්කට උනට බෙහෙත් දුන්නා. ඊලඟට අම්මා ලඟට ආවා. ඇවිත් stethoscope එක තියල බලල බෙහෙත් ටිකක් දුන්නා.

අම්මා : මොකද්ද පුතේ මට තියෙන ලෙඩේ?

මිනූ කල්පනා කරනවා…..

මිනූ: ඔයාට තියෙන්නේ බනින ලෙඩේ.
ඇත්ත තමයි, මුළු දවසම බනිනවනේ කරන වැඩවලට.

අක්කා ලොකු තරම

අනූයි මිනූයි නිතරම රණ්ඩු කරනවා, හැමදාම වගේ රණ්ඩු ඉවර වෙන්නේ ඔයා ලොකුයි මම පොඩියි වගේ කතාවකින්. අම්මා මේක අහගෙන ඉඳලා ඉඳලා බැරිම තැන දවසක් මිනූට කියනවා,

“පුතේ අක්කත් ගොඩාක් ලොකු නෑ. ඔයාට වඩා පොඩ්ඩයි ලොකු, ඔයා ආව නිසා තමයි එයා අක්කෙක් උනේ. නැත්නං එයා තාම අපේ චූටි පුතා”.

 මිනූට මේ කතාව වැඩිය හිතට ඇල්ලුවේ නෑ, ටිකක් වෙලා ඇස් දෙකත් පුංචිකරන් බලාගෙන හිටියා. ඊට පස්සේ කියනවා,

“බොරු කියන්න එපා එයා නිල් පාට ටයි එකකුත් දාගෙන ඉස්කෝලෙත් යනවා”.

කෝවිල…

අනූයි, මිනූයි, අම්මයි, තාත්තයි ගමනක් යනගමන් මඟදි අම්මා එක එක දේවල් පෙන්නනවා. අම්මා දැක්කා කෝවිලක් තියෙනවා, අර බලන්න පුතේ කෝවිලක් අම්මා මිනූට කිව්වා.

මිනූ: කෝ… විලක්

අම්මා: විලක් නෙමෙයි පුතේ, කෝවිලක්.

මිනූ: කෝ… විලක්

අම්මා: ඒක කෝවිලක්. අපි පන්සල් යනව වගේ හින්දු අය කෝවිල් යනවා.

මිනූ: කෝ ඉතින් විලක්

මිනූ හොඳටම දන්නවා අම්මා මොකද්ද කියන්නේ කියලා. මේ හොර කෙල්ල…